Saturday, December 24, 2011

සඳක් සේ බැස යන්න - නිලන්ත සත්සර සමරජීව-1


වියපත් අහස මැද තවත් පරපුරක කඳුළු උරාගෙන හඳ බැබලෙන්ඩ පොර බැදුවා. අවාසනාවන්ත ආත්මෙකට රැකවරණයක් දෙන හිත් පිත් නැති දිරපු වහලත් ඇරෙන්ඩ ගෙදර ගැන මතකයක් මගේ හිතේ උපදින්නෙ නෑ.බස් එකෙන් බැහැල ගාටන යාර කීපය දරාගන්ඩ බැරි පාළුව:ගෙදර ලඟ දුක සින්නක්කරේට ලියාගන්න අම්මගෙ ඇස් දෙක.ඒ හැම දෙයක්ම මතුකරගෙන එන තරූගෙ සුසුම් පොදක සුවඳ.කල්පනා ලෝකෙක ගව්ගානක් පාවෙලා ගිහින් එනකොට පණ නැති මගේම සිරුර කිරි කිරි ගාන අබලන් ගේට්ටුව පාමුල.


"ඉන්ටර්වීව් එකට මොකද පුතේ වුනේ"' අම්මගෙ බලාපොරොත්තු පිරිච්ච වචන ටික දරාගන්ඩ බෑ මට.


ඒ වචන හිනාවේගෙන ඇවිල්ල කන් දෙකේ හැපිල කුඩුවෙලා අඬාගෙන බිමට වැටුනා. "හොඳයි"' වෙන කියන්න දෙයක් නෑ මට.


තාත්තා අරගෙන ආපු ඇප්ලිකේශන් එක,නංගිගෙ අතින් පිරවුණා.බස් එකට කියලා රුපියල් විස්ස්ක මිට මෙලෙව්වෙ දංකුඩ හූරං කාලා අම්ම ඉතුරු කරගත්ත සොච්චමෙන්.ඒත් ඒකෙන් පලක් නොවන වග මම දැනං උන්නා. පෑගෙන මල් පෙත්තකට හඬා වැටෙන්න තරම් මේ ලෝකෙ දයාබර නූන දවසේ ඉඳන් අපේ ලෝකෙ කාලකන්නි වුණා.


අපි වටකරගත්ත අන්ධකාරේ එකළු කරන්න පායපු පුංචිමපුංචි පහන් තාරකාවක් තරු රෑණකට යටවෙලා වල්මත් වෙලා.කණාමැදිරි එලියක්වත් හොයාගෙන ගියපු අපේ සමහර අයට හිස පොඩි පට්ටම් කරපු කණාමැදිරි තටු මිසක් වෙන දෙයක් හමුවුනේ නෑ අතීතෙදි. 'දවල් බත් එක හීතල වෙලාද කොහේදෝ.අන්න නංගි රත්කරන්ඩ ගත්තා.දැන්මම කන්න.උදේටත් කෑවේ පාන් කෑල්ලක් විතරයි නේ.' අම්මා සුසුම් හෙලුවා.


ඒ මම වෙනුවෙන්.ඒත් ඒ අය වෙනුවෙන් හෙළන්න සුසුමන් ඉතුරු වෙලා නෑ මට.නිහඬතාවය නේත්‍ර විල් තෙරට කඳුළු කුසුම් එවනව කියලා මම දන්නවා.අම්මගේ කඳුලක බර දරාගන්න බෑ මට.ඒත් තොල් දෙකෙන් එළියට විසිකරන්න තරම් වටිනා වචන පේළියක් හිතේ පිපෙන්නේ නැති තරමට හිත නිරුදක වෙලා.


'තාත්තා කෝ අද?' වෙන දෙයක් අහන්න නැතුව නෙමෙයි.ඒත් උත්තර හොයාගන්න බැරි හින්දා උත්තර නැති ප්‍රශ්නයක් ඇහුවේ අම්මගේ ඇස් දිහා බලන්ඩ බැරි හින්දා. '''අද ඕ.ටී. කරනවා කියන්නේ.කඩේ බිල නැගල.නංගිගේ ගවුමත් හොඳටම පරණ වෙලා.ඒ හින්ද මේ ටිකේම ඕ.යී. කරයි.'' දුක වහගන්න දෙතොල් මැද්දෙ මන්දස්මිතයක් හිරකරගෙන අම්ම අහක බලාගත්තා.


මකුළු දැල් බැඳිච්ච පඬු පාට බිත්තියේ තාත්තගේ උපාධි සහතිකේ බෙල්ලේ වැල දාගෙන මිය ගිහිල්ලා.සොහොන් කොතක ළඟ තුත්තිරි ගලවනවා වගේ හැමදාම එකේ වීදුරුව පිහදාල මං දිහා බලාගෙන ඉන්නවා.හරියට රටක් රාජ්ජයක් දිනුව වගේ.ඒත් දියවෙච්ච කලිසමයි පුස්කාපු බෑග් එකයි ඇරෙන්ඩ වෙන ප්‍රතිරූපයක් තාත්තා ගැන මගේ හිතේ ඇඳෙන්නෙ නෑ,ඒත් හිතේ කිමිදිලා උඩට මතුවෙන හැම වෙලාවකම පියාපත් මතකයක් ගානට ඒ ආදරේ මතු වෙනවා. උත්තරීතර මතයක පොහොට්ටුවක් වෙලා ඒ මල පපුවේ අද්දර පිපෙනවා.ඒත් ඒ මලට පිණි පොදක් වත් ඉහින්න තරම් මම පින්වන්ත වෙලා නෑ


. 'මට බැරිවෙනකොට බැරියැ නෝනේ.අපිට ඉන්නේ කොල්ලෙක්නේ මොකට බය වෙනවද නේද මගේ පුතේ' මාව කරේ තියාගෙන තාත්තා සුරංගනා කතා කියපු අතීතයක් මටත් තිබුණා.අනුන්ගේ ටීවී එකකින් බලපු ඒ සුරංගනා ලෝකේ තාමත් විනාශ වෙලා නෑ.ඒත් ඒකට ලං වෙන්න තාමත් මට බැරි වුණා. ඒ ලෝකේ ඉදිවෙච්ච තැනට පාලමක් ඉදිකරලා ඒ පාමුලට මාව ගේන්න තරම් හයියක් තාත්තගේ ක්ලාක් කමට තිබුණේ නෑ


'අයියේ ඉල්ලුම් න්යායට පටහැනි අවස්ථාවක් කියන්ඩකෝ' නංගියා එහා කාමරේ ඉඳන් කෑ ගැහුවා.


අතීතයේ එක්තරා කාලෙක ස්වර්ණමය අනාගතයක් හොයාගෙන දහදුක් විඳගෙන අපි නැගපු මහගිරිදඹේ දැන් තරූ,නංගියා තවත් තවත් ගොඩාක් උන් නගිනවා.තරු එළිය හොයාගෙන හතිදාගෙන බඩගාපු අපිට අන්තිමේදී පෙනුනේ රවට්ටන මායාවක් විතරමයි.


ඒත් මේ පොඩි එවුන්ගේ ඇස්වල හිරවෙලා තියෙන බලාපොරොත්තුවේ මල් පොහොට්ටු දිහා බලාගෙන ඒ මායාව ගැන කියල දෙන්න හිතෙන්නෙ නෑ මට. 'බල්ලො' කියල ලියන්න චූටියෝ''' නංගි පුළුවන් තරම් හිනාවුනා. දඩාවතේ යන බල්ලෙකුට පයින් ගහන මිනිස්සුම ප්‍රදර්ශනේකට ලොකු ගානකට ඌ වික්කොත් පොරකාලා ගන්නවා. එතන ආර්ථික විද්යා න්යායක් තියනවද කියන්ඩනම් මට මතක නෑ.ඒත් සිද්ද වෙන හැම දෙයක්ම න්යායකට ඔබන්න මං කැමති නෑ.

No comments:

Post a Comment