Saturday, December 24, 2011

මගෙ නත්තල දුගියා බත් කන දාය.....

නත්තල






දිග මුතු වැල් වැසි අහසේ එල්ලෙනවා

බිම වැටි වැටි මොහොතක් මුතු මල් වෙනවා

කළු දිය කොට මැදි රැය තරු දල්වනවා

බොර දිය පීන පීනා නත්තල් එනවා




ගලපන් දිය ගලන් පිළිකුල සෝදා

ගලපන් දය ගලපන් හොඳ ගුණ පාදා

ගලපන් දිය ගලපන් බිඳගෙන බාදා

නැති තැන නව පොකුණු විල් ගංගා සාදා






ඉල් හතු පිපී ගොඩ බිම ලස්සණ වෙනවා

වෙල් ඉවුරේ තණ මල් සුළඟේ යනවා

පන් පඳුරේ කොරවක් හඬ රැව් දෙනවා

බට මල් පොකුරු ළඟ කුරෙක් දිලිසෙනවා







මේවා පෙර නිමිති නත්තල එති ය කියා

දෙවියන් එනුයෙ මඩ පිඬ උඩ පාද තියා

මිනිසා ගේ ගමන බෙර මැද ගීත ගයා

මඩ උඩ මලෙකි - මිනිසගෙ මගෙ සිටියි නයා







නත්තල එන්න මේ බව පහදා දෙන්න

මල් පැල ගව හලය තැන දෙවියන් ඉන්න

මිනිසා සදයි මාලිග නටබුන් වෙන්න

ගව හල මල් පැල සැම දා පවතින්න







මගෙ නත්තල දුගියා බත් කන දාය

මගෙ නත්තල වැරැහැලි නැති වන දාය

මගෙ නත්තල ඔබෙ දුක සැනැසෙන දාය

මගෙ නත්තල පව පල්ලිය යන දාය







කොටි ගවයන් හා එක් තැන් වන දාය

නයි ගුල ළඟ දරුවා සැතැපෙන දාය

ඔබ හා මා අත් වැල් බැඳ යන දාය

මගෙ කුස ගිනි බත් කට ඔබ කන දාය






මර්සලින් ජයකොඩි පියතුමා
















මේ කවිය.....




සුකුමාර හා ශ්‍රැතිරම්‍ය වූ සුසේවනීය කාව්‍ය සහ ගීත නිර්මාණ සන්තතියක් සහෘද ලෝකයට සම්ප්‍රදානය කළ සොඳුරු කිවියර මර්සලින් ජයකොඩි පියතුමාගේ “නත්තල” නම් වූ මේ පැදි පෙළ කාව්‍යානුශීලනයෙන් විකසිත වූවන්ගේ වින්දනය ද චින්තනය ද සුනිශිත කරවන අපූරු නිර්මාණයකි.


දවසින් දවස සංකීර්ණ භාවයට පත්වන විවිධ විචිත්‍ර කාමභෝගී සමාජයෙහි නත්තල පිළිබඳ උදාර පරමාර්ථ කෙමෙන් ගිලිහී යමින් එය ඉසුරුමතුන් පිනවන සැණකෙළියක් බවට පත්වන අයුරු දකින කවියා සැබෑ නත්තලක ගුරු අරුත් කෙරෙහි සංවේදී වෙමින් සිය වේදයිතය කාව්‍යමය පරිකල්පනයෙන් ප්‍රතිනිර්මාණය කොට සහෘද සහානුභූතියක් බවට පත් කරයි.


ඒ සඳහා උපයුක්ත නව්‍ය කාව්‍ය සංකල්පනා, හෘදයංගම භාවවාහී කාව්‍යාකෘතිය, චමත්කාරජනක කාව්‍යෝක්ති කවියාගේ අනන්‍ය ලක්ෂණය වූ අව්‍යාජත්වයෙන් හා කලාත්මක සංයමයෙන් සුසරු වී සුලලිත සුඛනම්‍ය කාව්‍ය ලාවන්‍යයකින් සන්නද්ධ වී අපගේ චිත්තාරාධනය කරයි.


සොබාදහමත් මිනිසාත් අතර පවතින නිබඳ නිරන්තර ආත්මීය සුසංයෝගය සුගැඹුරු දහමක් සමඟ හනා වනා මැනවින් නිමහම් කොට රසික මනසෙහි නිදන් කරන මේ සොඳුරු කිවිවරයා සතු නෛසර්ගික ප්‍රතිභාව, බහුශ්‍රැතතාව සහ අමන්දාභියෝගය ප්‍රශස්ත ය; ප්‍රශංසාර්හ ය.


මෙම එකම පැදි පෙළෙහි වුව ද පදයෙන් පදය ගෙන විඳින විමසන විට උපදින දහසකුත් එකක් ව්‍යංග්‍යාර්ථයන්ගෙන් අපගේ පරමානන්දයත් ලෝකහිතානුකම්පී කරුණානුයාත ප්‍රඥාවත් දැල්වේ.


සැබෑ ම නත්තල පිළිබඳ හැඟීමෙන් නොසියුම් සිත්සතන් පවා ඉසියුම් බවට පත් වේ. මේ අසිරිමත් කවියා තුළ දෙවියන් වැඩ වෙසෙන අයුරු ඔහුගේ මියුරු කවියෙන් මැවි මැවී පෙනෙයි.


මහාචාර්ය දර්ශන රත්නායක


ප්‍රවීණ කවියකු මෙන්ම ගේය පද රචකයකු වූ මර්සලින් ජයකොඩි පියතුමා විසින් 1978 දී ලියා පළ කරන ලද ‘මුතු’ කාව්‍ය සංග්‍රහයේ ‘නත්තල’ කවි පංතිය ඇතුළත් වේ. ‘පන්සලේ පියතුමා’ නමින් කවුරුත් හැඳින්වූ ජයකොඩි පියතුමා කිතුනු ගී මෙන්ම බොදු ගී ද රචනා කළේය.


‘අසිරිමත් නත්තල’ අර්ථ ගන්වන්නේ එතුමා ජනතාවගේ සුවසෙත පැතීමෙනි. නත්තල උදාවන්නේ පරිසරය ද චමත්කාර ලෙස සරසමිනි. හීන් පොද වැස්ස, විසිරෙන්නේ මුතු මෙනි. ඒ මුතු වැස්ස බිම වැටෙන විට මල් මෙන් දසත විසිරේ. රාත්‍රී අන්දකාරය පහ කරමින් පායන තරු අතරින් නත්තල් දිනය උදා වේ. ජයකොඩි පියතුමා ඉතා සරල බස් වහරකින් උපමා රූපක ආදිය භාවිතයෙන් හඟවන්නේ පරිසරයේ ඇති සුන්දර බවයි. ඒ සුන්දර බව ඇති වන්නේ නත්තල නිසාය.


කවියා මෙහිදී ‘නත්තල’ යන්න තමන්ගේ අදහස අනුව මෙසේ අර්ථ ගැන්වේ යැයි සිතයි. මේ කවියා නත්තල දකින අයුරුයි.



මගෙ නත්තල දුගියා බත් කන දාය
මගෙ නත්තල වැරැහැලි නැති වන දාය
මගෙ නත්තල ඔබෙ දුක සැනැසෙන දාය
මගෙ නත්තල පව පල්ලි යන දාය


ජයකොඩි පියතුමා නත්තලේදි ප්‍රාර්ථනය කරනුයේ මිනිසා - මිනිසා තේරුම් ගෙන එකිනෙකාට උදව් කරන දුකේදී පිහිට වන, අන් කුසගිනි නිවන යහපත් කාරුණික සමාජයකි. පව් කම් කිරීම අත්හැර යහපත් මිනිසුන්ගේ ලෝකයක් උන්වහන්සේගේ ප්‍රාර්ථනයයි.


“මගේ නත්තල පව පල්ලි යන දාය”


මිනිසුන් අතර පමණක් නොව සතා සිව්පාව අතර පවා, මුළු මහත් ලෝකයේම සියලු සත්ත්වයන් සැනසෙන දිනයක් දකින්නට කවියා තුළ ඇති කැමැත්ත නත්තල කවි පන්තිය තුළින් ගම්‍ය වේ.



ඉසවි







සිළුමිණ 2010.12.26

No comments:

Post a Comment