Saturday, December 24, 2011

පරිණාමා......

දහඩිය පෙරාගෙන මහ දහවල ගින්   නේ

වැලිබත් උයන අවදියෙ ගෙයි පිළිකන් නේ

මා ඈ දුටුව බව ඈ කොහොමද දන්  නේ

හඳ වාගෙයි එදා ඈ බැබලුණ පින්   නේ




ඇගෙ නෙත අහිංසක රසයට උල්පත   ය

ඇගෙ මොළකැටි ගතිය රැඳුණේ මල්වෙත  ය

සඳ හිරු පළමු බැලුවේ ඇගෙ පැල්පත  ය

එහි හැම තැනම මිහිරිගෙ හුරතල් වත  ය




ඇගෙ නෙත් පහර වැද නාදලු නිලට   හැරේ

තොල් පැහැ පෙනේ ගම අහසෙහි බහින  ඉරේ

පවතී මිහිරි බව ඇගෙ පරිසරය  කෙරේ

ඈ ඇති තැනදි වැඩි මී මැසි බඹර  පොරේ




ඉන්පසු දුටිමි ඈ නව යොවුනෙහි   වෙලුණු

රන් තරුවක් වගෙයි කිරි මුහුදෙහි  ගිලුණු

ඇගෙ යටි පතුලෙ වැද යන එන තැන  තැලුණු

වැලිකැට තිබේ හිරිගල් පාටට  දිලුණු




ඇගෙ නෙත් කොණින් ආ මදලස වැද  පිපුණු

වනමල් ගැන කීහ ගම සමහර  ගැහැණු

ඇගෙ කට හඬින් ඉපනැලි තුළ ගොනු  ගැනුණු

සුමිහිරි තාල කවදාවත් නැත  නැසෙනු




පරිණත යොවුන් වයසේ විලිබරව  සිටී

ඇය මම දිටිමි මුළු ගම බබලවන  හැටී

හැසිරෙනු දුටිමි රන් රස ආලයක  ගැටී

ඇය දැන් තනිව විසු දවසට වැඩිය  වටී




කලකට පසුව යළි මම ඇය දුටිමි  එදා

ඇය ගැහැණියකි සිටි දරු සිව් දෙනෙකු  හදා

හළ මෙන් දුටිමි හැම සිරි ඇය වෙතට  මුදා

ඈ සල් ගසක් මෙනි ඇති මල් පොකුරු  දදා




අවසන් වරට මවිසින් ඇය දුටු  දවස

ඇය පිරිවරා වැලපුණි හිතවත්  පිරිස

සුවසේ වෙසේවයි දුරුකරගෙන  වෙහෙස

සොහොනක් කළෙමි මගෙ හදවත ඇය  පිණිස




-කේයස්-

No comments:

Post a Comment