Saturday, December 24, 2011

විඡේවීර අළුවනු දැක සසර කලකිරුණු කනත්තේ මහත්තයා

{මේ ලිපිය අද(2011.12.24) දිවයින පත්තරේ පළවුන ලිපියක්....රෝහණ විජේවීර මහතාගේ දේශපාලනය අපේ දේශපාලනය නොවුනට එතුමා ගැන මේ හාමුදුරුවො කියලා තියෙන දේ තමයි මටත් කියන්න තියෙන්නෙ. ඒ විතරක් නෙමෙයි.ලංකාව, වටින මිනිස්සුන්ට එදත් අදත් කවදත් සැළකුවෙ සහ සළකන්නෙ මෙහෙමයි කියන්න මේ එක උදාහර්ණයක් විතරයි.කෙසේ වෙතත් මෙහි ඇති එකම ධනාත්මක කතාව තමයි...මේ සිදුවීම් සාරානාන්ද හිමියන් දහම් මගට පිවිසීමට හේතුවක් වෙච්ච එක.}


විඡේවීර අළුවනු දැක
සසර කලකිරුණු කනත්තේ මහත්තයා
හමන සිසිල් මඳනළ තුරුපත් අතර සිරි සිරි හඬ නංවමින් ඒ පුණ්‍ය භූමියේ නිසල බව මඳකට සසල කළේය. සියොතුන්ගේ ගී නද මිස වෙන කිසිදු හඬක්‌ හාත්පස පරිසරයෙන් නොනැඟේ. ඒ භූමිය ශාන්තය. පින්බරය.

මම හාත්පස පරිසරය දෑසින් විඳිමින් සෙමෙන් සෙමෙන් සාරානන්ද ස්‌වාමීන් වහන්සේ වැඩ සිටින කුටිය දෙසට ගමන් කළෙමි. ස්‌වාමීන් වහන්සේ සුදු වැලිතලාවේ තාලයකට මෙන් දෙපා තබමින් සක්‌මන් භාවනාවේ යෙදී සිටින බව අපි ඈතින් දුටිමු. මොහොතක්‌ අපි ඈතින් සිට උන්වහන්සේ සක්‌මන් කරන විලාසය වින්දෙමු. සක්‌මන් ගමන මඳකට නනර කළ උන්වහන්සේ අප දෙසට දෙනෙත් යොමු කළහ. අප උන්වහන්සේට ළං වී නමස්‌කාර කළෙමු.

"තෙරුවන් සරණයි"

"අවසරයි ස්‌වාමීන් වහන්ස අප අවේ ඔබ වහන්සේ මුණගැසෙන්නයි."

උන්වහන්සේ කිසිවක්‌ කතා නොකර කුටිය තුළට ගමන් කර එහි තිබූ අසුනකට බර දුන්නහ. මමත් උන්වහන්සේ අසලම කුඩා අසුනක හිඳ ගත්තෙමි.

ඇතුල්කෝට්‌ටේ සාරානන්ද ස්‌වාමීන් වහන්සේ පැවිදි ජීවිතයට ඇතුළු වන්නේ 2003 වර්ෂයේ මාර්තු විසිහත් වැනිදාය. උන්වහන්සේ ගිහි ජීවිතයේදී දරුවන් පස්‌ දෙදෙනකුගේ පියෙකි. එකල නම ගුණතිලකය. රැකියාව සුසාන භූමි පාලකවරයෙක්‌ ලෙසිනි. ගුණතිලක සුසාන භූමි කිහිපයකම පාලකවරයෙක්‌ ලෙස සේවය කළ ද ඔහුගේ රාජකාරි ජීවිතයේ බොහෝ කාලයක්‌ සේවය කළේ බොරැල්ල සුසාන භූමියේය. එකල භීෂණයේ ගිනිදැල් රට පුරා බුර බුරා නැඟෙමින් තිබිණි. බොරැල්ල කනත්තේදී මෙන්ම ඒ ආසන්නයේදී ඝාතනය වූ තරුණ ජීවිත ගණන මෙපණ යෑයි කිව නොහැකි තරම්ය. එදවස බොරැල්ල කනත්තේ සිදු වූ ඝාතන, රාත්‍රියට ආදාහනාගාරයේ දැවුණු තරුණයන් ගැන මෙන්ම සුසාන භූමිවලදී සිදුවන විවිධ අකටයුතුකම් ගැන ද හොඳින්ම දන්නේ ගුණතිලකය. එහෙත් ඔහු සමාජයත්, ජීවිතයත් දෙකම කෙරෙහි ඇතිවූ දැඩි කලකිරීම හෙයින් අරහත් ධජය පොරවාගෙන දකුණු පළාතේ නිසල වන සෙනසුනක ඇතුල්කොට්‌ටේ සාරානන්ද නමින් වැඩ සිටිති. අප පසුගිය දිනක ඒ වන සෙනසුනට ගොස්‌ උන්වහන්සේ බැහැ දැක්‌කේ උන්වහන්සේට ගිහි දිවිය කලකිරීමට හේතුව දැනගනු සිරියෙනි.

මේ සංසාර කතරෙහි දුර ඈත අතීතය තුළ මෙබඳු ජීවිත කොතෙක්‌ නම් ගත කරන්නට ඇත්ද? ඒ හැම ජීවිතයකටම උපතක්‌ සේම මරණයක්‌ද තිබුණේය. ඒ ආත්මයන් තුළ සැප සම්පත් ද දුක්‌දොම්නස්‌ ද කොතෙක්‌ නම් විඳින්නට ඇත්ද? වියපත් සාරානන්ද ස්‌වාමීන් වහන්සේ සියලු දේ මෙනෙහිකරමින් පැවිදිවන්නට පෙර ගත කළ ගිහි ජීවිතය ආවර්ජනය කළහ.

"මේ ශරීරය කියන්නේ මොකක්‌ද කියන එක මේ ජීවිතයේදී මම හොඳට තේරුම් ගත්තා. මම ජීවිතයෙන් අඩක්‌ම මරණත් එක්‌ක ජීවත් වුණු කෙනෙක්‌. මම ඉදිරියේ තරුණයෝ ඝාතනය වුණා. මගේ දැස්‌ ඉදිරිපිට නායකයෝ පිච්චුණා. ඡේවීපී නායක රෝහණ විඡේවීර මහත්තයා ආදාහනාගාරයට දාලා පිච්චුවේ මගේ මේ දෑස්‌ ඉදිරිපිට. ඒ ඝාතනය මගේ මතකයෙන් ඈත් කරන්න ගොඩක්‌ මහන්සි ගන්නවා. එදා ඒ සිදුවීම් පෙළ තවමත් මගේ මනසේ හෝල්මන් කරනවා."

ඒ රුදුරු සිදුවීම් සමුදාය මෙසේ විය.

මඳ සුළඟ නතර වී හිරු සෙමෙන් සෙමෙන් අවරට බැස ගියේ තවත් අඳුරු මූසල හැන්දෑවකට ඇරයුම් කරමිනි. ගුණතිලක බොරැල්ල කනත්තේ කාර්යාලයේ සිට රෑ අඳුර මැදින් තම නිල නිවස බලා පිටත් වුණේය. සියලුම කඩ සාප්පු වෙළෙඳසල් වැසී ගොස්‌ය. මඟ තොටේ වාහනයක ශබ්දයක්‌ නොඇසේ. නිවෙස්‌වලින් දිස්‌ වූයේ කලාමැදිරි ආලෝකයකි. එදවස රටේ සෑම අස්‌සක්‌ මුල්ලකම මිනිසුන්ගේ සිත් බිය, අඳුර සැකයෙන් පිරී ගොස්‌ය.

වෙනදා මෙන්ම එදා ද තම දරුවන් සෙනෙහසින් තුරුළු කර නින්දට වැටුණේ හෙට දිනක්‌ ගැන බලාපොරොත්තුවක්‌ නොමැතිව. එහෙත් ඔහුට ඒ රාත්‍රිය බෙහෙවින්ම දීර්ඝ එකක්‌ ලෙස හැඟුණි. විකාරරූපී සිහින ඔහු ඉදිරියේ මැවී පෙනේ. ඈතින් ඈතට වෙඩි හඬ දෝංකාර දෙයි. ඔහුට නින්දක්‌ අහලකටවත් නොයෙන සේය. යහනේ ඒ මේ අත පෙරළෙමින් සිටි ඔහුට නොසිතූ මොහොතක දොරට තට්‌ටු කරන ශබ්දයක්‌ ඇසුණි. මොහොතක්‌ ඒ ශබ්දයට කන් දුන් ඔහුට තවත් නිමේෂයකින් ඇසුනේ ගොරහැඩි කට හඬකි.

"අපි පොලිසියෙන් දොර අරින්න"

ගුණතිලකගේ සිත සැකයේ වළාවෙන් පිරී ගියේය. පාන්දර යාමයේ කවුද මේ ඇවිත් සිටින්නේ දෙගිඩියාවෙන් මෙන් ඔහු ජනෙල් රෙද්ද ඈත් කොට දැල් කවුළුවෙන් එළිය බැලුවේය. පොලිස්‌ ඇඳුම් ඇඟලාගත් කිහිපදෙනෙක්‌ද, සිවිල් ඇඳුම් ඇඟලාගත් කිහිප දෙනෙක්‌ද නිවස ඉදිරිපිට සිටින බව ඔහු අකාස එළියෙන් හඳුනා ගත්තේය. පසුව ඔහු වෙන දෙයක්‌ වෙන්නැයි කියා කමිසයක්‌ ඇඟලාගෙන දොර විවර කළේය.

"ගුණතිලක මහත්තයා බය වෙන්න එපාෘ අපි පොලිසියෙන්. මාව හඳුනනවද?"

ඒ පිරිස අතර තරු පැළඳ සිටි නිලධාරියකු ඉදිරියට පැමිණ ඔහුගෙන් එසේ විමසුවේය.

"මම තමයි රොනී ගුණසිංහ කියන්නේ. අපිට බොඩි දෙකක්‌ පුච්ච ගන්න තියෙනවා. අපිත් එක්‌ක කනත්තට යමුද?

ගුණතිලකගේ සිතේ ඇති වී තිබූ කුහුල තව තවත් වැඩි විය.

"මේ වේලාවට මෝලේ වැඩ කරන සේවකයෝ නැහැ. කොහොමද දැන් මිනී පුච්චන්නේ. උදේ පාන්දර හත වෙන කොට සේවකයෝ වැඩට එනවා. එතකොට බෝඩි දෙක පුච්චලා දාන්නම්." ගුණතිලක පොලිස්‌ නිලධාරීන්ට කීවේය.

"එහෙම කියලා බැහැ. මේක කරන්නම ඕනෙ. මේ දැන් ඒ බෝඩි දෙක පුච්චන්න ඕනා. කනත්ත කිට්‌ටුවම ඉන්න සේවකයාගේ ගේ තියෙන තැන කියන්න අපි ගිහින් එයාව අරන් එන්නම්." පොලිස්‌ නිලධාරියාගේ හඬ තරමක්‌ ආවේගාත්මක විය.

ආදාහනාගාරයේ වැඩ කරන කනත්ත ආසන්නයේම සිටින සේවකයාගේ නිවස පිහිටි ස්‌ථානය ඔහු පොලිස්‌ නිලධාරීන්ට දැනුම් දුන්නේය. නිවසට යන මාර්ගය ද පැහැදිලි කළේය. හාත්පස අඳුර තුනී වෙමින් රිදී පැහැ සඳ එළිය ගලමින් තිබිණි. සීතල සුළං තුරු පත් සෙල වුවද ඔහුගේ ගත නම් උණුසුම්ය. රාත්‍රිය පුරාවට ඇසුණු වෙඩි හඬ තවමත් ඈතින් ඈතට ඇසේ. ඊට නොදැවැනිව උලමෙකුගේ මූසල අඳෝනාවක්‌ ප්‍රදේශය පුරා රැව් පිළි රැව් දෙයි. ගත වූයේ විනාඩි දහයක්‌ පමණ කාලයකි. කනත්ත ආසන්නයේම සිටි සේවකයාගේ නිවසට ගිය පොලිස්‌ නිලධාරීන් කිහිප දෙනකු සේවකයා කැඳවාගෙන ආවේය. වේලාව පාන්දර තුනට ආසන්න වෙමින් තිබිණි. පසුව සියල්ලෝම කනත්ත දෙසට ගමන් කළෝය.

"හැන්දෑවට වැඩ අවසන් වුණාට පස්‌සේ කනත්තේ යතුරු සියල්ල කාර්යාලයට දාලා කාර්යාලයේ යතුර මම අරගෙන එන්න පුරුද්දක්‌ කරගෙන හිටියා. මම කාර්යාලයේ යතුර අරන් ගිහින් ඒක ඇරලා මෝලේ යතුරු සේරම අරගෙන මමත් මෝල පැත්තට ගියා. රොනී මහත්තයා කිව්වා මොඩ්ල් µdම් එක පැත්තේ ගේට්‌ටුව ඇරලා දෙන්න කියලා. අපේ සේවකයා ගිහින් ගේට්‌ටුව ඇරියා. එක වාහනයක්‌ මෝල ගාවටම රිවස්‌ කරලා බොඩි දෙකක්‌ මෝල ඉස්‌සරහා සිමෙන්ති පොළවට දැම්මා. තවත් වාහන පහක පමණ පොලිස්‌ නිලධාරීන් ඇවිත් සිටියා. මැරිලා හිටපු දෙන්නගේ කලිසම් විතරයි තිබුණේ උඩු කය මොනවත් නැහැ. එතකොටත් බොඩිස්‌ දෙකෙන් උණු ලේ බේරෙනවා. මට හිතුණු විදිහට එතැනට ගේන්න විනාඩි තිහකට විතර කලින් තමයි වෙඩි තියලා මරලා තිබුණේ.

රොනී ගුණසිංහ මහත්තයා මගෙන් ඇහුවා මේයා අඳුරනවද කියලා. මම කිව්වා හඳුනන්නේ නැහැයි කියලා. "මෙයා තමයි රෝහණ විඡේවීර කියන්නේ." අනිත් කෙනා හේරත් කියලා කෙනෙක්‌ කිව්වා. පොලිස්‌ නිලධාරීන් මළ මිනී දෙකේ කලිසම්වල සාක්‌කු පරීක්‍ෂා කළා. පින්තූර ගත්තා. රෝහණ විඡේවීර මහත්තයාගේ එක සාක්‌කුවක සල්ලි වගයක්‌ තිබුණා. ඒ සල්ලි අර ගෙන පොලිසියේ අය රොනී මහත්තයාට දුන්නා. එයා කිව්වා ඔය සල්ලි ගුණතිලකට දෙන්න කියලා. පස්‌සෙ මම කිව්වා මහන්සි වෙන කෙනාට ඔය සල්ලි දෙන්න කියලා. රොනී මහත්තයා කොටසක්‌ සේවකයාට දුන්නා. අනිත් කොටස මගේ සාක්‌කුවට දැම්මා. අසූ නවය ගණන් කියන්නේ රටේ නපුරුම කාලයක්‌. ඒ කාලේ අපිට කියන්න බැහැ මට සල්ලි එපා කියලා. එහෙම කිව්වොත් ඒ අපෙත් අවසන් දවස වෙන්න තිබුණා. ඒ නිසා දෙන දෙයක්‌ අරගෙන වෙන දේ බලාගෙන හිටියා. එහෙම හිටිය නිසා තමයි අදත් මෙහෙම ජීවත් වෙලා ඉන්නේ.

අපේ සේවකයා මෝල ඇරලා සියල්ල සූදානම් කර දුන්නට පස්‌සේ පොලිස්‌ නිලධාරීන් හතරදෙනෙක්‌ රෝහණ විඡේවීර මහත්තයගේ අත් දෙකෙනුයි කකුල් දෙකෙනුයි අල්ලා පද්දලා මෝලට වීසි කළා. ඒත් මෝලට වැටුණේ නැහැ. බිමටයි වැටුණේ. මළ මිනියක්‌ කියන්නේ හරියට වැළ මදුලක්‌ වගේ. දෙසැරයක්‌ විතර එහෙම කළා. බලන් ඉන්න බැරිම තැන මම කිව්වා පොඩ්ඩක්‌ ඔහොම ඉන්න. පැත්තකට දාලා තිබුණු ට්‍රොලියක්‌ ගෙනත් දීලා මේකෙ තියලා තල්ලු කරන්න කියලා මම කිව්වා. අපි කියපු විදිහට පොලිසියේ අය මිනි දෙකම ඒකෙ තියලා මෝල ඇතුළට දාලා පිච්චුවා.

සියලු දේ අවසන් වුණාට පස්‌සේ රොනී මහත්තයා මගෙ ළඟට ඇවිත් කිව්වා මෙතැන සිද්ධ වුණු කිසිම දෙයක්‌ කාටවත් දැනගන්න තියන්න එපා. අද රෑ පුවත්පත්වලට රජයෙන් ප්‍රකාශයක්‌ නිකුත් කරනකම් කාටවත් දැනගන්න බැහැ කිව්වා. එහෙම කව්රුහරි දැනගෙන තිබුණොත් තමුන් වගකියන්න ඕනා කියලාත් කිව්වා. මරණ සහතික පස්‌සේ ගෙනත් දෙන්න පොරොන්දු වුණා. මේ අළු කාටවත් දෙන්නත් එපා කිව්වා. පාන්දර තුනයි තිහ විතර වෙනකොට සිද්ධ වෙන්න ඕන සියලුම දේ සිද්ධ වුණා. " ගිහි ජීවිතයේ අඳුරු මතකය සාරානන්ද ස්‌වාමීන් වහන්සේගේ මුවින් මෙසේ ගලා ගියේය.

බොරැල්ල කනත්තේ දොර අගුලු ලෑ ගුණතිලක නැවත නිවසට පැමිණියේ අවුල් වූ මනසිsනි. අත පය සෝදා නැවත යහනට ගිය ඔහුට නින්දක්‌ නම් අහලකටවත් නොඑන සේය. මොහොතකට පෙර සිදු වූ සිදුවීම් පෙළ ඔහුගේ මනසේ හොල්මන් කරන්නට පටන් ගත්තේය. ආයාසයෙන් මෙන් දැස්‌ පියාගත් ඔහු මනෝ රාජ්‍යයේ ඈතින් ඈතට පාවී ගියේය. නැවත පියවි සිහියට පැමිණි ඔහුට පෙනුණේ ජනෙල් කවුළු තුළින් හිරු එබිකම් කරන බවකි. පෙරදා මෙන් පාන්දරින්ම ඇඟපත සෝදාගෙන වෙනදාටත් වඩා වේලාසනින් කනත්තේ කාර්යාලයට ගියේ හිමිදිරියේ ආදාහනාගාරයේ අළු බවට පත් වූයේ සැබැවින්ම රෝහණ විඡේවීර ද කියා සැක හැර දැනගැනීමේ අටියෙනි. මඟතොටේ කිසිදු වෙනස්‌ කතා බහක්‌ නැත. වෙනදා මෙන් දවස ගලා යයි. කනත්ත සේවකයෝ තුළ ද වෙනසක්‌ නැත.

"දවල් වෙන්නත් ආවා රෝහණ විඡේවීර අත්අඩංගුවට ගත්තා කියලා කිසිම ආරංචියක්‌ නැහැ. ඒත් කනත්ත ළඟ ගෙවල්වල මිනිස්‌සු කිව්වා ඊයේ රෑ පාර දිගටම පොලිසියෙන් හිටියා කියලා. කවුද කෙනෙක්‌ කිව්වා රන්ජන් විඡේරත්න මහත්තයත් පාරෙ හිටියා කියලා. මිනිස්‌සු එක එක කතා කියන්න පටන් ගත්තා. ගෝල්µa ක්‍රීඩා පිටිය ළඟ රේල් පාර අයිනේ පාන්දර වෙඩි සද්ද ඇහුණා කියලා මිනිස්‌සු කිව්වා. පස්‌සේ මමත් එතැනට ගිහින් බැලුවා. එතකොටත් ලේ එහෙම තිබුණා. එතැන හිටපු මනුෂ්‍යයෙක්‌ මට කිව්වා පාන්දර දෙකට විතර වෙඩි සද්දයක්‌ ඇහිලා ඇහැරිලා බලනකොට එක දිගටම වෙඩි වරුෂාවක්‌ වගේ ඇහුණා කියලා. පස්‌සෙයි අපි දැනගත්තේ රෝහණ විඡේවීර මහත්තයට වෙඩි තියලා මරලා තියෙන්නේ එතැනදී කියලා.

ඒ දවස්‌වල මිනිස්‌සු එක එක කට කතා පැතිරෙව්වා. රෝහණ විඡේවීර පණපිටින් බොරැල්ල කනත්තේ පිච්චුවා කිව්වා. එහෙම දෙයක්‌ වුණේ නැහැ. මම කියනවා එයාවත් වෙන තැනක මරලා මෙතැනට ගෙනැවිත් පිච්චුවා කියලා. ඔය කට කතා බොරු. සිද්ධිය දැක්‌කේ කිහිප දෙනයි. ඒ එක්‌කෙනෙක්‌ මම.

පස්‌සේ මගේ හිතවත්ම යාළුවකුට කතා කරලා මම ඇහුවා රෝහණ විඡේවීර අත්අඩංගුවට අරගෙනද කියලා. නෑ.. නෑ.. ගුණේ එහෙම ආරංචියක්‌ නැහැ කියලා එයා කිව්වා. පස්‌සේ මම කිව්වා නැහැ පාන්දර මරලා මෙහේ පිච්චුවා කියලා. ඒත් එයා පිළිගත්තේ නැහැ. මගේ යාළුවා හඳුනන මන්ත්‍රී කෙනකුට කතා කරලා අහලා තිබුණා රෝහණ විඡේවීර අත්අඩංගුවට ගත්තා ද කියලා. ඒ මන්ත්‍රීවරයාත් කියල තිබුණා එහෙම දෙයක්‌ නම් දන්නේ නැහැ කියලා. ඒ මන්ත්‍රීවරයා එවකට ඇමැතිවරයෙක්‌ගෙන් ඒ ආරංචිය ගැන අහලා තිබුණා. එයත් කියලා තිබුණා තවම නම් එහෙම ආරංචියක්‌ ලැබුණේ නැහැ කියලා. ඇත්තටම ඒ අයත් දැනගෙන ඉඳලා නැහැ. පස්‌සේ රාත්‍රි පුවත්වලට නිවේදනයක්‌ නිකුත් කළා රෝහණ විඡේවීර ඝාතනය කළා කියලා. හැබැයි එදා රූපවාහිනියෙන් දැකපු රෝහණ විඡේවීර නෙමෙයි මම කනත්තේදි දැක්‌කේ. රූපවාහිනියේ දැකපු රූපේ මුහුණ පුරා රැවුල වැවිලා තිබුණා. කනත්තෙ දැකපු රූපේ රැවුල කපලා බෙහෝම සුන්දර විදිහට හිටියේ.

හැමදාම අපි උදේට ආදාහනාගාරයේ අළු සුද්ද කරනවා. මේ මිනී දෙකම එකට දාපු නිසා මිනී දෙකේම අළු තිබුණේ එකට. ඉතිං අපි කොහොමද අළු වෙන් කරන්නේ. මම අළු ටික අරගෙන කළ ගෙඩියකට දාලා ලැකර්වලින් නම් දෙකත් ලියලා කළගෙඩිය රහස්‌ තැනක සඟවලා තිබ්බා. නමුත් ඒ අළු ටික ගෙනියන්න කවුරුවත් ආවේ නැහැ. ටික දිනක්‌ ගියාට පස්‌සේ මම තව සේවකයකු සම්බන්ධ කරගෙන කිසිම දවසක හෑරෙන්නෙ නැති තැනක අළු ටික කළගෙඩිය පිටින්ම වළලලා දැම්මා. ඒ තැන දැනගෙන හිටියේ අපි දෙන්න විතරයි.

මම ඡේවීපීකාරයෙක්‌ නෙමෙයි. නමුත් රෝහණ විඡේවීර කියන්නේ අපේ රටට කලාතුරකින් බිහි වන නිර්භීත නායකයෙක්‌. හොඳ සංවිධාන ශක්‌තියක්‌ තියෙන නායකයෙක්‌. ඔහුගෙන් රටට විශාල සේවයක්‌ ගන්න පුළුවන්කම තිබුණා. එහෙම නායකයකු ඒ විදිහට ඝාතනය කරපු එක ගැන එදා වගේම අදත් මම අනුමත කරන්නේ නැහැ. කා අතිනුත් වැරැදි සිදුවෙනවා. වැරැදි කළා කියලා මිනිස්‌සුන් මරන්න බැහැ. එදා නායකයෝ එයාට දඬුවමක්‌ දීලා තියාගත්තනම් අද එයා වැරැදි හදාගත්ත නායකයෙක්‌ වෙන්න තිබුණා." සාරානන්ද ස්‌වාමීන්වහන්සේගේ දයාලු හඬ තවමත් ගලා යයි.

එකල භීෂණ සමයේදී බොරැල්ල කනත්තට තරුණ කොලු ගැටයන් ගෙනැවිත් වෙඩි තබා ඝාතනය කරන අයුරු, ඒ සිරුරු ආදාහනාගාරයට විසි කරන අයුරු ද දැක ගුණතිලක මහතාගේ දෙනෙත් කඳුළින් පිරී ගියේය. සිත කලකිරිණි. ඔහුට ඈත අහසේ සඳ දෙස බලා සිටින්නට හැර වෙන කිසිවක්‌ කළ නොහැකි විය. එදා ඔහු අසරණය. ඔහුගේ රාජකාරියට වේලාවක්‌ ආවේලාවක්‌ තිබුණේ නැත. නීතිය රකින අය කතා කළ විට ඔහු රෑ ජාමේ වුව ද බොරැල්ල කනත්තේ දොරගුළු විවර කර දීමට යටහත් පහත්ව බැඳී සිටියේය.

"භීෂණ කාලේ තරුණ කොල්ලන්ව කනත්තට ගෙනත් මගේ ඉදිරිපිට කොච්චර නම් මරලා තියෙනවාද? ඒ මරපු අයගෙන් එකම එක කොල්ලයි අඬ අඬා කිව්වේ අනේ මාව මරන්න එපා කියලා. මාව අතහරින්න මම සේරම කියන්නම් කියලා. ඒත් ඒ තරුණයාට ජීවිත දානය දෙන්න තරම් එතැන උණුවන සිතක්‌ තිබුණේ නැහැ. එයාවත් යවන්න ඕනෙ ලෝකෙට යෑව්වා. කනත්තට ගෙනා හැම තරුණයෙක්‌ම බිම වාඩි කරලා හරියටම ඉස්‌මුදුනට වෙඩි තියනවා. ශරීරයේ පදාසියක්‌ම ගැලවිලා යනවා. ඒ වෙඩි තියන්න එන අයට ද හොඳ පළපුරුද්දක්‌ තිබුණා ඒ දේ හරියටම කරන්න. මම ඇස්‌ දෙකෙන් දැකපු නිසා මේවා බොරු නෙමෙයි. සමහරක්‌ අයගෙ පණ ගිහිනුත් නැහැ. ඒත් උස්‌සලා ආදාහනාගාරයට දානවා."

ඒ සෑම තරුණ ඝාතනයකට වඩා එදා රෝහණ විඡේවීර සහෝදරයාගේ ඝාතන සිද්ධිය ගුණතිලකගේ සිතට තදින් කි¹ බැස්‌සේය.

ඒ සිද්ධිය මට දරා ගන්න බැරිව ගියා. මේ මනුෂ්‍යයා මෙහෙම මැරෙන්න ඕනා පුද්ගලයෙක්‌ නොවේ. ඒ වුණාට මේ ආත්මයේදී එයා ඒ විදිහට මැරුණා. නැවත සංසාරයේදී මේ වගේ අකල් මරණයක්‌ අත්නොවේවා කියා පින්දහම් කරන්න ඕනා කියලා හිතලා මට රොනී මහත්තයා දීපු සල්ලිත් මගේ සේවකයාට දීලා එයාට දීපු සල්ලිත් දාලා නැති බැරි අයට මොනවහරි අරන් දෙන්න කියලා මම කිව්වා. ඒත් ඒ මනුෂ්‍යා දීපු දානමානයක්‌ නැහැ. ඒ සල්ලිත් යටිමඩි ගහගෙන තිබුණා. මම ඕවා අහන්න ගියේ නැහැ. මම හිතාගත්තා පින්දහම් කරනවා නම් තනියෙන්ම කරනවා කියලා.

1 comment:

  1. උදාරයා වෙන්න ........ඔනෑ.............එ .......71,89.....භිශන සමයවල්..........වල ටයර් සෑයවල්......වල බටලන්ද.......එලියකන්ද......වදකාගාර වල.........දෙතිස් වද විදලා මෑරිලා ගිය..............කෙල්ලන්ගෙ......යොනියට.....උල් පිහි ඈතුල් කරලා...දුශනය කරලා මෑරිලා ගිය..........එ අය දිවි පුදපු.....සමාජ විප්ලවය,සමාජවදය ඈති කිරිම................අන්න එතකොටයි එ කෙල්ලො කොල්ල්න්ගෙ ආත්ම වලට සාමය ලෑබෙන්නෙ.........
    නමුත් එය ඈති කරන්න ඔය............94න් පසු බිහිවුන.....හොර ජෙවිපි එකටවත් ............ජන අරගල....කරයන් එක්ක නෙවෙයි................නව විප්ලවිය බලවේගයක් ලෙස එකතු වෙලා.............එක ඈති කරන එක.....

    ReplyDelete