Wednesday, January 18, 2012

මට කියා දෙන්න ලොව ඇතිද තවත් වෙන අරුතක් මේ ජීවිතය තරම්?

බොහොම හිත රිදුනාම..දිවි නසාගන්න හිතෙන හිත හදාගන්න උදව්වෙන වචන රැසක් මිතුරු අකුරු වලින් මට අද දකින්න ලැබුනා.ඒක මගේ බ්ලොග් එකේ දාන්නෙ අනිත් අයටත් ඒකේ වැදගත් කමක් තියෙයි කියලා හිතුන නිසා.






(පූජ්‍ය සේරුවාවිල විමලානන්ද හිමි)


එකම විසඳුම විදිහට දිවි නසා ගැනීම තෝරා ගන්නා අය ගැන හිතුවාම මට නම් හිතෙන්නේ බොහෝ අය ඒ දේ කරන්නේ තවත් පාර්ෂවයකට පාඩමක් උගන්වන්න කියලයි.


1. පෙම්වතා හෝ පෙම්වතී අසාධාරණ ලෙස පෙම් සබඳතාවය නතර කල පසු "මම මැරුනට පස්සෙ වත් එයා තේරුම් ගනීනේ මම කොයි තරම් එයාට ආදරය කලාද කියලා" හිතලා ඒ තෝරා ගැනීම කරනවා වෙන්න පුලුවන්.

2. දෙමාපියන් පෙම් සබඳතාවයට විරුද්ධ වී එය නතර කරන ලෙස බලපෑම් කල විටෙක "මම මැරුනට පස්සෙ වත් අම්මලට තේරෙයිනේ ආදරේ කරන එක ඔය කියන තරම් ලොකු වැරැද්දක්ද කියන එක" කියලා හිතලා ඒ තෝරා ගැනීම කරනවා වෙන්න පුලුවන්.

3. සැමියා හෝ බිරිඳ සමඟ එකදිගට කාලයක් කලහ කරමින් සිට එකම විසඳුම ලෙස දිවි නසා ගැනීම තෝරා ගන්නා සැමියෙක් / බිරිඳක් "මේ මනුස්සය මම මලාට පස්සේ වත් තේරුම් ගන්නේ නැතැයි මගේ වටිනාකම" කියා හිතනවා විය හැකියි

4. සම්මතයට, සදාචාරයට එරෙහි දෙයක් කල කෙනෙක් අහම්බෙන් හෝ එය එලිදරව් වූ විටෙක සමාජයට මුහුන දෙන්න අපහසු නිසා එකම විසඳුම ලෙස දිවි නසා ගැනීම තෝරා ගන්න සිතනවා විය හැකියි.

5. බලාපොරොත්තු සුන්වී අයෙක්, ජීවිතය කඩා වැටුනු අයෙක්, ජීවිතය ගැන කලකිරුනු අයෙක් එකම විසඳුම ලෙස දිවි නසා ගැනීම තෝරා ගැනීමට පෙලඹෙනවා විය හැකියි.

දිවි නසා ගැනීම වෙනුවට ගත හැකි විකල්ප ගැන මට සිතෙන්නේ මෙසේයි.

1. එයාට හොඳ නම් කමක් නෑ . . මම උත්සාහයෙන් තවත් දියුනු වෙලා ගොඩක් හොඳ තත්වෙකට ඇවිත් එයාට ඔප්පු කරල පෙන්වනවා එයා ගත්තේ වැරදි තීරණයක් බව.

2. මම හොඳට ඉගෙනගෙන රස්සාවක් කරලා ස්වාධීන කෙනෙක් වෙලා මම කැමති කෙනෙක්ට ආදරේ කරනවා. අම්මල අකමැති උනත් මට ගැලපෙන කෙනෙක් කියලා හිතුනොත් අම්මලගේ විරුද්ධතාවය ගනන් නොගෙන ඉන්නවා.

3. විසඳුමක් ඇත්තෙම නැත්නම් වෙන්වෙනවා. මොනව කරන්නද? මරා ගන්නවට වැඩිය ඒක හොඳ නැද්ද? කවදා හරි තේරුනොත් සතුටින් ඉන්න පුලුවන් කම තියාගෙනනේ නිකම් බොරු දේවල් වලට මරා ගත්තේ කියලා, අපිට කිසි ප්‍රශ්නයක් නැතුව සතුටින්ම ඉන්න පුලුවන් කියලා ආපහු එකතු වෙන්න පුලුවන් වුනොත් එකතු වෙනවා.

4. මිනිස්සු කියන්නේ වැරදි කරන අය. මිනීමැරීම වගේ දෙයක් හැර ලෝකේ සමාව දෙන්න බැරි වැරදි තියෙනවද? සමාජයට පැහැදිලි කරලා දෙනවා ඒක මට වුනු වැරැද්දක් කියලා. වැරැද්ද හදාගෙන ජීවත් වෙන්න උත්සාහ කරනවා.

5. කලකිරීම නැති කරගෙන අලුත් ජීවිතයක් පටන් ගන්න නම් ජීවිතයට අලුත් බලාපොරොත්තු තියෙන්නේ ඕන. අලුත් බලාපොරොත්තු ඇති කරගන්න ඕන. ජීවිතය අලුතෙන් පටන් ගන්න ඕන.

ගිහි ජීවිතයක් ගෙවනකොට බෞතික දියුණුවක් ලබන්න ඕන එයට ත්මන් විසින්ම යම් ක්‍රමයක් අනුගමනය කරන්න ඕන තව කෙනෙකු දෙස බලා යමක් කිරීමට සිතන විට බැඳීම මූලික කරගෙන සියල්ල විනාශයට පත්වෙන්න පුලුවන් බැඳීම් වලින් නිදහස් වෙන්න..


ඇතැම් මෝඩයෝ අනුන්ට රිදවීම පිණිස ද දිවි නසා ගනිති. ඒවා සාවද්‍ය දිවි නසා ගැනීම් ය. එසේ දිවි නසා ගන්නවුන්ට දෙවන ජාතියේ සුගතියේ ඉපදීමට ද දුෂ්කර ය. දූෂිත වූ සිතින් කාලක්‍රියා කරන පුද්ගලයා ගේ දෙවන උපත ගැන තථාගතයන් වහන්සේ වදාරා ඇත්තේ මෙසේ ය.

“ඉමම්හි වායං සමයෙ කාලං කයිරාථ පුග්ගලො
නිරයං උපපජ්ජෙය්‍ය චිත්තං හිස්ස පදූසිතං
යථා හරිත්වා නික්ඛිපෙය්‍ය එව මෙව තථා විධො
වෙතො පදොස හෙතු හි සත්තා ගච්ඡන්ති දුග්ගතිං”

(ඉති වුත්තක පාලි)

“සිත දූෂ්‍ය වී ඇති මේ වේලාවේ දී මේ තැනැත්තා කාලක්‍රියා කෙළේ නම් ඔහු නරකයෙහි උපදනේ ය. මක් නිසා ද? ඔහු ගේ සිත දූෂ්‍ය වී ඇති බැවිනි.

 එබඳු පුද්ගලයා මළ පසු ගෙන ගොස් දැමුවාක් මෙන් නරකයට වැටෙන්නේය. සිත දූෂ්‍ය වීම හේතු කොට සත්ත්වයෝ දුර්ගතියට යෙති” මේ ගාථා දෙක්හි තේරුම ය.බුදුදහම පිළිබඳව භක්තියෙන් කථාකරන අයකුට එය නුසුදුසුයි.. දිවි නසා ගැනීම තමාට වූ පාඩුවක් පිරිමසා ගැනීමට කළ යුතු ප්‍රතික්‍රියාවක් නොවේ. එය අනුවණකමෙකි. තමන් ගේ දෙලොව ම නසා ගැනීමකි.ජීවිතයේ එන අභියෝගවලට මුහුණදීමට අප පුරුදු විය යුතුයි..වගේම එයින් පාඩම් උගෙන අනාගතය යහපතට ආදර්ශගත යුතුයි.. 


ඔබට බොහෝ දෙනා දොස් පරොස් කියන්නට පුළුවන්, බැණ වදින්නට පුළුවන්, නැතිනමි වෙනත් වෙනත් ඇනකෙහෙලිකමි කරන්නට පුළුවන්, මේ දේවල් අපිට නවත්තන්නට බැහැ. ඒ ඒ සංස්කාර ක්‍රියාත්මක වෙන්නේ ඒ ඒ ආකාරයට. අපිට අවශ්‍ය විදියට ඒවා පවත්වන්නට බැහැ. වෙනත් වචන ටිකකින් කියනවා නමි ලොකෙ රටේ මිනිස්සු හදන්න අපිට බැහැ. නැත්නමි ලොකේ මිනිස්සුන්ගේ කටවල් වහන්න අපට බැහැ. මේ ලොකේ මිනිස්සු, ලොකේ මිනිස්සු පිට කරන වචන සේරම භාහිර අරමුණු. මේ බාහිර අරමුණ අරගෙන අපි අලවන ලේබල් එක නිසයි, අපි දුක් විදින්නේ දුකට පත් වන්නේ, ඒ භාහිර අරමුණු දෙස නුවනින් නොදැක ඒවා මම කරගෙන මගේ කරගෙන සිටින නිසයි අපි ඒ බාහිර අරමුණු වලට ලේබල් අලවන්නේ. නැත්නමි අපිට ඒවා කොහොම තිබුණහම මොකද? හරියට අපි නිදාගෙන ඉන්නකොට මනුස්සයෙක් බැණලා බැනලා ගියා වගේ. අපි ඒ බැනුමි බෙදාගෙන වලදන්නේ නැහැ. ඔහේ වචන ටිකක් පිට වෙනවා, අපි ඒවාට ලේබල් අලවන්නේ නෑ. ඒ මුනුස්සයා ඒ වචන ටික පිට කරලා යන්නට යනවා. අපිට ඇති පාඩුවකුත් නැ වෙන දෙයකුත් නෑ.
 භාග්‍යවත් බුදු පියානන් වහන්සෙ උපේක්ෂාවම ශාන්තයි, උපෙක්ෂාවම ප්‍රනිතයි වශයෙන් දේශනා කරඇත්තේ මේ ආකාරයෙ අරමුණු වල නියම ස්වරැපය නුවනින් මෙනෙහි කිරිම තුලින්, සිත මධ්‍යස්ථ භාවයට උපෙක්ෂාවට පත්කර ගැන්මට හැකියාව ඇති බවයි. ඔබටත් මෙසේ අත්දැකිම තුලින් ප්‍රායොගිකව ප්‍රිතිමත් දිවියක් ගත කිරිමට හැකිවනවා ඇති .මුලින්ම මතක් කරපු කරුණු ටික නැවතත් සිතන්න වරක් නොව දෙවරක් නොව අවබෝධයෙන් යුතුව ක්‍රියා කරන තාක් ඔබට එය මග කියනු ඇත

තෙරුවන් සරණයි!.



(අසාන් චතුරංග රණදේව )


ජීවිතයෙන් පලා යන එක ප්‍රශ්න වලට විසදුමක් නෙමයි. ජීවත් වෙනවා කියන්නේ තමුන්ගේ ප්‍රශ්න විසදා ගනිමින් ඉදිරියට යන එකයි..මේ ලෝකයේ මම දන්න විදියට ඕය වගේ දේවල් වලට මුහුණ නොදීපු කෙනෙක් නෑ..ඒවාට විසදුම් සොයාගෙන බාදක මැඩගෙන ඉදිරියට යන කෙනාගේ තමයි ජීවිතය සාර්ථක වෙන්නේ..බලන්න අපි වැඩියෙන්ම ගෞරව කරන බුදුරජාණන් වසන්සේ මොන තරම් නම් කරදර බාදක මැඩගෙන ගිහිල්ල සියල්ල ජය ගත් කෙනෙක් ද?

(වරුණ රත්නායක)

ජීවිතයෙන් පළා යෑම ගැටළු වලට පිළිතුර නොවේ.. විසඳන්න බැරි ගැටළු කාලයට බාර දෙන්න. හොඳම විසඳුම කාලය ලබා දේවි..


(දිල්මි දිලුනිකා)


ප්‍රශ්ණ නැති අය ලෝකෙ නෑ...හැමෝටම  අඩු වැඩි වශයෙන් තියෙනවා....තමන් හිතන්නෙ තමන්ට තමයි ලොකුම ප්‍රශ්ණෙ තියෙන්නෙ කියලා.....
කොටි තමන්ගෙ පවුලෙ ඔක්කොම කෑලි කෑලි වලට කපලා ගියත්, වෙඩි සද්ද මැද තනියම ජීවත් වුන සින්හල මිනිස්සු මේ රටේ ජීවත් උනා...

සුනාමියට ගේ දොර, පවුලෙ අය ඔක්කොම නෑයො නැති උන අයත් ප්‍රශ්ණ මැද ජීවත් මිනිස්සු මේ රටේ ජීවත් උනා........

 ඔය විදියට සිය දිවි නසා ගත්තොත් ලෝකෙ මිනිස්සු ඉතුරු වෙන එකක් නෑ...මිනිස් ආත්මයක වටිනකම මොකද්ද? ඇයි අපි බල්ලො , හරක් , නයි, කූඹි , කැරපොත්තො වෙලා ඉපදුනේ නැත්තෙ? සියදිවි නසාගන්නද?



(දමින්ද්‍ර ලක්මාල්)

කවුරුත් මැරෙනවා.ඒත් ජීවිතේ නැතිකරගන්න හිතන්න එපා. ගලවීමක් නෑ.හුගක් ප්‍රශ්නවලට විසදුම් අතලගම තියෙනවා..අනික් ප්‍රශ්නවලට විසදුම් කාටවත් දෙන්න බරිනම් කාලය විසින් හොදම විසදුම දෙයි.. ගන්න තීරන දෙමව්පියන්ටත් බලපානවා..

අපිට වෙන දේවල් වලට පූරුවේ පවුපින් බලපානවා..සතුට වගේම දුකත් ජීවිතේට අනිවාරුයෙන්ම උරුමයි.... උපරිම කරුමක්කාර ජීවිතයක් ගතකරන උනුත් ඉන්නවා වගේම ් වාසනාවන්තමට ජීවිතය ගතකරන උනුත් ඉන්නවා පවු ගෙවෙන්න ඇරපන්..අලුතෙන් පවු නොකර හිටපන්.ගෙවෙන හැම දුකකදීම ඒ පවත් ගෙව්වා කියලා හිතපන්.ඒකෙන් පනලා යන්න නම් එකම විදිහයි තියෙන්නේ..ඒ ඉතින් නිවන් දැකීම විතරයි

(දර්ශන ශෂිනාත්)

මරණය කියන්නේ හරි සුලු දෙයක්, මැරුණම ඔක්කෝම හරි කියල අනන්තවත් හිතුණ වෙලාවල් මගේ ජීවිතෙත් නැතුවාම නෙවෙයි... ඒත්  මැරි මැරි හරි ජීවත්වෙන 1ක ඊටත් වඩා වටිනව කියල හිතෙන්නේ පොඩි හරි කරදරයක් අපටත් උනු දවසට, අතක් පයක් නැති උනු දවසට, සමහරවිට ඊටත් වඩා දෙයක් උනු දවසට...

 මාව ඇක්සිඩන්ට් වෙලා හොස්පිටල් අරන් ගිහින්, සුමානයක් විතර යනකම් කකුල කපන්න ඕනිම කියල දොස්තරල කියනකොට, අම්ම වැළහින්නක් වගේ ඇඬූ කඳුලින් හිටියේ... ඇයි එතකොට මගේ තාත්ත, නංගී උණත් කොයි තරම් දුක් උණාද... ගොඩක් හිතවත් අයත් එහෙමයි... ඉතින්  ඒ වගේ අපේ අය අපි ගැන දුක් වෙනකොට, අපි ගැන හිතනකොට මොනම හේතුවක් නිසාවත් ජීවිතේ නැතිකර ගන්න හිතන එක නම් හරිම පව් වැඩක්... අපිට උනත් ජීවිතේ වටිනාකම තේරෙන්නේ ඒ වෙලාවට තමයි.


(ක්‍රිශාන් ජයලත්)

මමනම් මරනය දැකලා තියේ 3 සැරයක්ම. ඒක සුන්දර නෑ . සමහර වෙලාවට කොච්චර උවමනා උනත් අපිට ඕනේ විදියට මැරෙන්නවත් බෑ. වෙලාව එනකම් හිටපන.
උත්තර නැති ප්‍රශ්න වලට,,, කවුරු බන දේශනා කලත් වැඩක් නෑ. ඒ අත්දැකීම් ලබපු කෙනෙක්ගෙන් අහපන්. 

(ප්‍රියංකා පෙරේරා)

තමන් ගැන අවතක්සෙරුවෙන් සිතිම නවත්තපු දාට ජිවිතය ලස්සනයි කියලා හැඟේවි.මැරෙනවා කියන එක ප්‍රශ්ණවලට විසදුම නෙමෙයි. අන් අයටත් ලොකයාටත් උවමනා විදිහට ජිවත් විම නවත්තන්න. තමන්ට උවමනා විදිහට ජිවිතය හැඩ ගස්සවා ජිවත්වෙන්න. නිතරම සැම දෙයක් ගැනම උපෙක්ශාවෙන් බලන්න පුරුදු වෙන්න. එවිට ඔබට අද මේසෙ ජිවිතය නැති කරගන්නවා කියන එක ගැන සිතිම ගැන පවා ලැජ්ජාවට පත්වේවි . ..

(උත්පල හත්නාගොඩ )

ප්‍රශ්න නැත්තේ කාටද  අපි හැමෝටම 1, 1 විදියේ ප්‍රශ්න තියෙනවා... ඒත් ඒවාට මුහුණ දෙන එකයි ජිඉවිතය කියන්නේ... මමත් ඉන්නේ ප්‍රශ්න ගොඩක. ඒත් අදට වඩා හෙට හොඳ වෙයි කියලා හිත හදාගෙන ජිවත් වෙනවා..

(ප්‍රබුද්ධ කසුන්)

ජ්වීතය හරියට ගඟක් වගේ ගඟක් ගලනකොට ගල්කුළු වල හැපී  හැපී ගලනකොට තමඊ ලස්සන ඒ වගේ අපේ ජීවිත වලට බාදක එනකොට තමඊ life1 ලස්සන වෙන්නේ . අපි අපේ ගමන යන්න ඕනේ .බුදුහාමුදුරුවෝ කියල තියනවා මනුස්ස ආත්මයක් ලැබීම කැස්බෑව විය සිදුරෙන් අහස බැලීම වගේ කියලා.

(ප්‍රදීප් ජයවර්ධන )

ලෝකේ හැම එකාටම ප්‍රශ්න තියෙනවා හැබැයි ඒවට උත්තරත් තියෙනවා..හැබැයි ඒ ප්‍රශ්න වලට එක එක්කෙනා උත්තර හොයා ගන්නා විධි ‍වෙනස් ...සමහරැ ප්‍රශ්න දැක්කහම දුවනවා..සමහරැ එඩිතරව මුහුන දෙනවා ...සමහරැ බාගෙට උත්තර හොයාගන්නවා ..හැබැයි ජීවිතෙට මොනප්‍රශ්නය ආවත් පැනලා යන්න එපා..කොහොම හරි මම මේ ප්‍රශ්නයට මුහුන දෙනවා කියලා අධ්ෂ්ටානය ඇති කරගන්න...තමන්ට තම්න් කරන දේ විශ්වාසනම් ආයි කාගෙන් වත් අහන්න ඔනෙනැ.

(ජනක රාජපක්ෂ )

~දැනට තියෙන හැම බැඳීමකින්ම නිදහස් වෙලා කාටවත් හොයා ගන්න බැරි ඈතකට පලයන්. අලුත්ම බැඳීම් ගොඩනගාගනින්. ජීවිතේ බිංදුවෙන් පටන් ගනින්. ඒ අලුත් ජීවිතය කලින් එකට වඩා සීඝ්‍රගාමී වෙනවා ෂුවර්. හිටපු තැනින් අඩි ගාණක් උඩට ආව දවසක ආයේ පරණ තැනට වරෙන්. කාටවත් උඹට ඇඟිල්ලක් තියන්න බැරි වෙනවා එදාට.
[එහෙම කරපු උන් ඉන්නවා, කරලා දිනපු උන් ඉන්නවා. අත්දැකීමෙන් කියන්නෙ]...





No comments:

Post a Comment