Wednesday, January 25, 2012

Happy Birthday to me හෙවත් මට සිංහාවලෝකනයක් වූ මගේ අඳෝනාව



මුළින්ම මගේ උපන්දිනේදි(ජනවාරි 24) සුබ පතපු ෆේස් බුකි මිතුරන් කැළ ටත් පුද්ගලිකව සුබ පතපු මිතුරු හැමටත් තුති!








තව අවුරුද්දකට පස්සෙ මට 28 ලැබුවා(ලැබුවද ඉවර උනාද මන්දා).....ගිය වසරේ උපත සැමරුවේ ඒ.බී.එස් එකේ දි. ලබන අවුරුද්ද කොහේ වේද දන්නෙ නෑ.කොහොම හරි ගෙවිච්ච විසි අට අවුරුද්දෙ මගේ ජීවිතේ ගැන සිංහාවලෝකනය ක යෙදෙන්න තීරණය කළා. සටහන ඉවරවෙන්නෙ 'සිඟිති' ටත් 'සූස්ති සනා' ටයි දුන්න ට්‍රීට් එකෙන්.

(1.)මම ඉපදුනේ 1984 වසරේ ජනවාරි මාසෙ 24 වෙනිදා.අනිත් හැම එකාගෙම වගේ මගේ හඳහනේ තියෙන්නෙත් 'පින්වත් කුමරුවා' කියලා තමයි.

(2.)මම ඉස්සෙල්ලාම ඉස්කෝලෙ ගියේ කඩුවෙල,වැලිවිට ශාන්ත මරියා මහ විදුහලට.ඒ ඉස්කෝලෙ ඉගෙන ගත්ත අය අතරින් ප්‍රසිද්ධියට පත් චරිත තියෙන්නෙ 3 යි.එක්කෙනෙක් හිටපු මහ ඇමතිවරයෙකු වන රෙජිනෝල්ඩ් කුරේ (ඔව් බන්දුල සර්ගෙ සසෙක්ස් එකේ ඉන්ග්ලිශ් මාස්ටර් තමයි ),පරණ නළුවෙක් වන අරුණ ශාන්ති සහ මම.

(3.)වැලිවිට ඉස්කෝලෙන් මම සිස්සත්තෙ පාස් උනේ 1993 දි ඒ ඉස්කෝලෙන් එකම සිසුවා විදියට.

(4.)ශිෂ්‍යත්වයෙන් සමත් උනත් තාත්තා ග්‍රාම සේවක නිසා මට ශිෂ්‍යාධාර ලැබුනෙත් නෑ...කොළඹ ලොකු ඉස්කෝලෙකට දාලා උගන්වන්න අම්මටයි තාත්තටයි පුළුවන් කමක් තිබුනෙත් නෑ..මේ බයිලාව මම මෙතනත් කියලා තියෙනව මහිතෙ.කොහොමහරි ඒ විභාගෙන් පස්සෙ මම ගියේ බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයට.ගමේ ඉස්කෝලෙ හැමදාම පන්තියෙ පළමුවෙනියා වෙච්ච මම බෝමිරියට ගියායින් පස්සෙ මුළින්ම 16 වෙනියා..ඔහොම ඔහොම යද්දි මම 56ක් අතරෙන් 52 වෙනියාත් වෙලා තියෙනවා.(මම හිටිය පන්තියෙ හිටියෙ ශිෂ්‍යත්වය සමත් අය විතරයි )

(5.)සාමාන්‍ය පෙළ කිට්ටු වෙද්දි මම ඉගෙනීමෙන් කුජීතම වෙලා එපාවෙලා ම හිටිය කාලේ,නමුත් ඕ ලෙවල් අනිවා මම පාස් වෙනවා කියන එක මගේ හිතේ තිබුනා.එපා වීම කොච්චර බලවත් ද කිව්වොත් මම මාස ගාණක් ඉස්කෝලෙ ගියෙත් නෑ.ගියත් යලට මහට.ඒ නිසාම 80% නැතැයි කියලා ගෙදරින් ලියමනක් ගේන්න කියලා අවුරුදු 5ක් ම අපේ පන්තිය භාර ගුරුතුමී වෙච්ච සුනිල්කාන්ති මිස් කියලා තිබුනා.(පස්සෙ ඒ ලියුම රෙජිස්ටරේ ඇතුළෙ තිබිලා මටම හමුවුනා ) ඉස්කෝලෙන් ඉගෙනගත්ත දෙය අඩු නිසා අම්ම මට ගෙදරට පාස් පේපර්ස් සහ උත්තර පොත් ගෙනත් දුන්නා.ඒක මම ගෙදර ඉඳන් පාඩම් කරලා(ස්ටඩි කරලා ) ඕ ලෙවල් පාස් උනා. D-5,C-2,S-1

(6.)උසස් පෙළ පටන්ගත්තා බෝමිරිය ඉස්කෝලෙන්ම.අපේ පන්තියෙ ගොඩාක් උන් ගියා ආනන්ද, දේවි බාලිකා වගේ ලොකු ඉස්කෝල වලට.මම ආසාවෙන් ඉගෙනගන්න ගත්තෙ මෙතන ඉඳන්.ඒත් ඉස්කෝලෙ ආවෙ අඩුවෙන්.බන්දුල සර් ගෙ සසෙක්ස් එකේ දවස් 7ම පන්ති තිබුණ කාලයක් තිබුණා.2002 උන්නැහේ අන්තිමට ක්ලාස් කරපු බැච් එක(අපි ) බන්දුල සර් හින්දා මම ආසාවෙන් ඉගෙනගත්තා.ඒත් උන්නැහේ අලි පාටියට ගිය නිසා පන්තිත් අතරමග නවත්තලා වෙන දෙන්නෙකුට භාර දුන්න මගදි.සසෙක්ස් එකේදි තමයි මගේ හොඳම යාළුවා වන 'උදිතයා'හමුවෙන්නෙ.
2002 දි අපි දෙන්නම A-1,B-1,C-1  විදියට සමත් උනා.පස්සෙ අපි දෙන්නම දෙවෙනි පාර කරන්න තීරණය කළේ..බාහිර උපාධි පාඨමාලාවල නීරස කම බලලම ඉගෙනගෙන.2003 දි මගේ ප්‍රතිඵලය උනේ  A-1,B-2
ඉසෙඩ් ස්කෝර් කේස් එකක් නිසා මම කැම්පස් තේරුණේ නැතිකමින් මගේ 'සරසවි හීනය' බොඳවෙද්දි උදිතයා A-3 ක් අරගෙන විශිෂ්ඨ විදියට උසස් පෙළින් කොළඹ සරසවියට තේරුණා.හැම එකාම නැතිවෙද්දි මගේ දුකට සැපට හැමදාම උන්නෙ/ඉන්නේ ඌ විතරයි.ඌට හැමදාම හරියන්න ඕන.ඌ ඒ තරම්ම තමන්ගෙ සොයුරු සොයුරියන් හා පවුල වෙනුවෙන් අදත් කැපවෙන බෝසත් චරිතයක්.අදත් මම ගොඩක් හිත හදාගන්නෙ ඌ දිහා බලලා.
තව විශේෂ සිදුවීමක් උනා 1999-2002 කාලයේ.ඒ කතෝලික ආගම සදහටම අතහැරලා බෞද්ධ දසුන වැළඳගත්තෙ ඔය කාළෙ.

(7.)2004 වෙනකොට මම මගේ පළමු ජොබ් එක පටන්ගන්නවා.(අවුරුදු 20) පුබුදු කියන ටයර් කඩෙන්.බර වැඩ නෙමෙයි.බිලිං සහ තාමත් මගේ පස්සෙම එන කැෂියර් වැඩේ.මම චාටඩ් කරන්න පටන්ගත්තෙ ඕකෙ ඉන්නකොට.දෙපාරක්ම එකවුන්ට්ස් ඇනගනිද්දි මම චාටඩ් අත් හැරලම දානවා.මාස 3 න් 3500 පඩියට කරපු ඒ ජොබ් එකට ආයුබෝවන් කියනවා.

(8.)2005-06 වෙනකොට මට 'මෙට් රූෆ්' එක සෙට් වෙනවා.ගිණුම් සහයක සහ කැෂියර්.රුවන් බොස් මගේ ජීවිතේට ගොඩාක් ලොකු බලපෑමක් කරපු චරිතය.වෙනම පෝස්ට් එකක් ඔහු වෙනුවෙන් කරන්න ඕන.අහවලී මට හමුවුනේ ත් එහිදි (ඇය අද මට මුහුණටම මුණ ගැහුනා ).එකවුන්ටින් ෆීල්ඩ් එකේ ගොඩක් දේ මම ඉගෙනගත්තෙ එතන හිටපු අවුරුදු 2 දි.

(9.)2007 වැයවුනේ වානේ සංස්ථාවෙ.හොඳට හම්බකළා.හොඳට ඉතුරුත් කළා (පස්සෙ වියදම් උනා ) මගේ කුලප්පුව නිසා මම එතනින් මාස 7න් අයින් උනා.

(10.)2008-2011 මද දුරක් වෙනකම් මම වැඩකලේ පීටර් අයියගෙ මාළු කඩේ නොහොත් ඇපොලෝ මැරයින් ඉන්ටර්නැෂනල් සහ තවත් ගොඩාක් බිස්නස් තියෙන සමූහ ව්‍යාපාරයෙ.එතන ඉන්න දවස්වල මම පාට් ටයිම් ජොබ් එකකුත් කළා (මාස3 ) රෑට.ඇප්ලෝ එකේම අවුට්ලට් එකක.ජීවිත අද්දැකීම් වැඩිපුරම ලැබුන සහ මම වැඩිම කාලයක් රැඳුන තැන මෙතන.
ඒ.ඒ.ටී ඉවර කළේ,සී.එම්.ඒ අන්තිමම ස්ටේජ් එකට යනකම් ඉවර කළේ මෙතන ඉන්නකොට.
මේ කාලෙ තව තැන් දෙකක් තියෙනවා ඒ දෙක මම මතක් කරන්නවත් කැමති නෑ(ජොබ් එපාම උනා ඒ එක තැනක් නිසා )

(11.)අන්තිමටම මම මේ දැන් ඉන්න තැන. 'සිඟිති'-සූස්ති සනා-ජබ්බ සනා- ළපටියා-ජෝනා-පත්මෙ වගේ උන් සෙට් වෙච්ච තැන.

සාරාංශගත මගේ ජීවිත කතන්දරේ බයිලාව එතනින් ඉවරයි.

28 වෙනි අවුරුද්ද සමරන්න මමත් සිඟිති ත් සූස්ති සනා ත් සෙට් උනා. මම මගේ අඳෝනාව ඉදිරිපත් කළා සිඟිති එක්ක.ඌට ඒකට උපදෙස් දුන්න. ටිකක් මතකයි උගේ උපදෙස් අන්තිමේ මගේ ප්‍රශ්නවලට මගේ උත්තර අහලම ඌට මට උපදෙස් දෙන එක එපා වුනා.කොහොමහරි ඌත් එක්ක මම අඳෝනා ගහපු එකේ විපාකයක් විදියට මට උගේ ආදර වරුණාව,කැම්පස් එකේ චණ්ඩිකම්වල දිග,පළල වගේ දේවල් අහගෙන ඉන්න සිද්ධ උනා.සූස්තියා ආවේ බාගයක් ඉවර වෙද්දි..එතනින් තව බාගෙකට මග විවර උනා.(මම මේ අවුරුද්දෙ ඉඳන් බොන්නෙ නෑ කියලා වෙච්ච ස්වයං අදිටන කරන්න කළින් උනු පෙර පොරොන්දුවක් නිසා මේ සෙ වීම ක්‍රියාවට නැගුණි ).මගේ අඳෝනාව පැටි වියේ ඉඳන්ම පටන්ගෙන ආයෙත් සූස්තියගෙ කණට මිහිරක් වෙද්දි ඌ බෝතලෙන් වැඩි කොටසකට වග කිව්වා.(හිත හොඳ ගෑණි හැමදාම බඩින් කියනව වගේ එකෙක් උන ඌ මගේ අඳෝනාව හොඳින්ම තේරුම් ගත්ත බව මට විශ්වාසයි..)කන්න ගත්තු කෑම එක මෙලෝ රහක් නෑ,ඌරෙක් වත් හිටියනම් හොඳයි කියලා හිතෙද්දි තමයි මට 'ජබ්බ සනා'ව මතක් උනේ.(විහිළුවට තමයි ) ඌව මතක් උනාම තව එකක් මතක් උනා..උගේ ඩෙටර්ස් රිපොර්ට් එකේ 'සඩ්න්ලි ඇපියර්' වෙච්ච මගේ 'අවුට්ස්ටෑන්ඩින්' එකක් තියෙනවා කියලා.

අවසාන වශයෙන් සූස්තියව,සිඟිතිව මාව ගෙනිහින් ඇරලවපු සිඟිතියගෙ ණය ගෙවන උගේ මිත්‍ර මධුසංකය(මාතලී ) ආදරයෙන් මතක් කරමි.මා මිත්‍ර සිඟිති(කොඩී) සහ සූස්ති සනා (රසා ) සදා සමරමි.
style= src=

6 comments:

  1. බොහොම ස්තූතියි අසංක,උත්පල

    ReplyDelete
  2. යකෝ අයියෙ උඹ මාර යකෙක්නෙ, එහෙම වෙලත් තමාවම පහලට දාලා කතා කරන්න එපා උලමො

    ReplyDelete